Tuesday, August 8, 2017

ඇත් ගාලේ දරු පෙම. - ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ

Image result for images of elephants



මොකටද අම්මේ 
අම්මට ගැහුවේ 
මාමල දෙන්නෙකු
 වටකරලා


ඇගපත තැලිලා
 රිදෙනව ඇතිනේ
කොච්චර ගැහුවද
 බැඳ දමලා 



දෙපා සතාගේ 
ළඟ කාබීගෙන
සිටියම ගතිගුණ 
වෙනස් වෙලා


මාමල ඔහොමයි 
උන්ගේ බහටම 
හැරෙනව නෑ කම 
අත්හැරලා

Friday, April 7, 2017

ප්‍රබුද්ධ - මහගම සේකර

මහගම සේකරයන් උපන්නේ අප්‍රේල් මාසයේ අද වන් දිනයකදීය. එතුමාට උපහාරයක් වශයෙන් මෙම කවිය කවිමුතුමල් වල පළ කරමි.


භවයකින් පසු තවත් භවයක
උපන්නා සේ ඔහුට හැඟුණේ ය.
මරණයෙන් පසු අළුත් උපතක්
ලබන්නා සේ ඔහුට හැඟුණේ ය.

ගිලන් හලේ සුදු හැඳ ගත් හෙදියන්
සුදු බිත්ති හා ඇඳන්
සියළු වස්තු සම්මිශ්‍ර ව
තිරයක් සේ විය
අඩක් ඇරී සිහි ලබනා දෑසට

වාට්ටුවේ ඇතුළත හා පිටත නැගෙන
සියළු ශබ්ද සම්මිශ්‍ර ව
සමුද්‍ර ඝෝෂාවෙ හි
වර්ෂාවෙ හි
එක් වන් හෝ නාදය මෙන්
ශුද්ධ ඕංකාරය මෙන්
ප්‍රකෘතියෙහි සංගීතය
මඳින් මඳ ව ඇසෙන්ට විය.

කාලය මිදී ඝන ව තිබී
අසංඛ්‍ය කල්පයකට පසු
කෙමෙන් ඇරෙන නෙත් ආලෝකයෙන් උණු ව
සෙමින් සෙමින් ගලා ගියේ ය.


මහගම සේකර 

මහගමසේකර 1929 අප්‍රියෙල් මස 7වන දින ගම්පහ, රදාවානේ දී උපත ලබන ලදී. ශ්‍රී ලංකාවෙන් බිහිවුණු අග්‍රගණ්‍ය කලාකරුවෙකු වශයෙන් සැලකේ. ඔහු කවියකු, ගීත රචකයකුනවකතා කරුවකු, කෙටි කතා කරුවකු, නාට්‍ය රචකයකු සහ චිත‍්‍රපට අධ්‍යක්ෂකයෙකු වශයෙන් සුපතල විය. ඔහු වැඩි වශයෙන්ම ප්‍රසිද්ධ වූයේ සිංහල ගීත රචකයෙකු වශයෙනි. සිංහල නිසඳැස් පද්‍ය කලාවේ ඔහු සුවිශේෂී සලකුණක් තැබුවේය.

Wednesday, April 5, 2017

අඳුර අපේ දුක නිවාවී - ගුණදාස අමරසේකර


යමන් කළුවෙ ගෙදර යන්න, කන්ද උඩින් අඳුර    එනව
උඹට වගේ මගෙ ඇඟටත් හරිම මහන්සිය     දැනෙනව
අඳුර තමයි අපෙ ඇඟපත නිවන්ට දෙවියෝ        එව්වේ
හනික යමන් ගාල්වෙන්න පිදුරු ගොඩේ ගෙයි මුල්ලේ

උදේ හිටන් අව් කට්ටේ උඹව තියන්       මැඩවෙව්වට
උඹේ හිතට අමාරුදැයි කියාපන්කෝ දැන්වත්       මට
කරුමේ තමයි පළිසන් දෙන්නේ අපගේ මේ     විදියට
බුදු හාමුදුරුවො කිව්වේ එක තමයි දුක           නිවන්ට

ගෙදර ගිහින් ඇළ ගාවින් හොඳ තණකොළ ටිකක් උඹට
තලු ගහ ගහ බඩ පිරෙන්න ගෙනැත් දාන්නම්    කන්නට
දෙයියො තමයි අඳුර දුන්නේ අපෙ ඇඟපත ගිනි නිවන්ට
හනික යමන් ගාල් වෙලා අඳුරු රෙද්ද පෙරව        ගන්ට

මගේ කකුලේ කටු ඇනිලා ඉවසන්නට බැහැ      රිදේවී
අන්දකාරෙ තෙල් ගාලා ඒ විස කටු ඇද                දමාවී

හැන්දෑවට උඹ ඉඳගෙන තලු ගහනව මට       ඇහෙනව
උඹට කළුවෙ හුඟක් හොරද හැන්දෑවට නින්ද       යනව
අඳුර ඇවිත් මගෙ නළලට නම් මන්තරයක්       කියනව
ඒ එක්කම ඇහැ පියවිල එළිවෙනතුරු නින්ද        යනව

දෙයියො තමයි අඳුර දුන්නෙ අපෙ ඇඟපත      නිවාලන්ට
යමන් කළුවෙ ගාල්වෙලා එකට වැටී                නිදාගන්ට
තුනටිය මගෙ කකියනවා බොහොම නොසෑහෙන විදියට
අඳුර හන්දි තෙල් ගාලා අතගාවිය එය                හෙමිහිට

අඳුර  රෙද්ද, පෙරවාලා අපෙ ඇඟපත නිදි             කරාවී
අඳුර අපෙ දුක නිවලා දාහක් ගින්දර                     නිවාවී

ගුණදාස අමරසේකර

Thursday, March 30, 2017

ගංඟාවේ ගීතය - එච්.එම් කුඩලිගම


කදු බෑවුමක දං බෝවිටි පදුරු                  තළා
පහළට ඇදී පරමල් පෙති ඉවත           නොළා
කලදෝ දියෙන් පුරවා රන් පුලින            තළා
සංගීතවත් වී යමි ඉදිරියට                        ගලා 


සැඟවෙමි එබෙමි නිසසල වෙමි සසල     වෙමි
ඇඹරෙමි එහෙත් පසු නොබසිමි   නොනවතිමි
කවදා කොතනදී හෝ මහ මුහුද                හිමී
හමුවුණු කෙනෙහි මා සතු බර ඔබට        දෙමි


එන්නේ කොහි සිටද- කොතැනකටද යන්නේ
ඔබ කුමකටද මා දුටු තැන             විමසන්නේ
මිනිසුන් ගිහින් නිතරම ආපසු             එන්නේ
කිමදැයි කියා කිසිවෙකු ඇයි නොසොයන්නේ


විසිරී යන පරිදි රන් සමණලුන්               රොඳ
වනමල් පඳුරු දෙදෙරවමින් මුලින්              අද
උඩ පැන පැන නටා ඇවිදින් ගිමන්            සිඳ
නැළවෙමි කුරුල්ලන්ගේ රජ දහන්           මැද


සැපවත් වෙවී රට මැද හිරිකඩ          වැස්සෙන්
කේතකි ගුහා ,උක් කොටු වෙළ් එළි  ඔස්සෙන්
හේ දඬු- බට පඳුරු නිල් ඕවිට            අස්සෙන්
ආයෙමි නිදහසේ දෙවඟන පසු          පස්සෙන්


මහ හඬ දිදී වස්දඩු තාලයට                      හඬා
කදුරැල් වලින් ඇද හැලෙමින් නොවිද      විඩා
වන දෙව්ලියන්ගේ ගම්මානයක              කුඩා
කැරකෙමි සිනා රැළි මතුකොට ඉවුරු      කඩා


හිරිමල් සිනා රැළි පෙණ පිඬු             මිහිරිතම
ගල් පරවලම හැපි හැපි බිහිකරමි             මම
සම තැනිතලාවල හමුවෙයි              අලසකම
නිරසයි අතරමග අවහිර නොදුටු               බිම


එච්.එම් කුඩලිගම 

Wednesday, March 29, 2017

කොළඹ ට්‍රැපික්



කෝට්ටේ ඉඳන් පිටකොටුවට           යාම
ගතවෙන වැඩක් වේ පැය ගණනක් බෝම
දවසින් භාගයක් ඉඳ බස්              රථයේම
වෙලාවකට වැඩකට යන්නේ         කෝම

පිබිදෙන නමුත් කුකුළා අත්රුවා        ගෙන
වැඩකට යනෙන විට සැඩ හිරු මුදුන් වෙන
පාර තමයි වත්මන මළ පනින            තැන
කවි ලියවෙනවා වාහන තදබදය         ගැන

මුළුදුර ගමන එපමණ දුරකුත්       නෑනේ
පොඩිදුර ගියත් ආයෙත්    නවතිනවානේ

දූවිලි වැලි බොරළු හා ගල් කැට    ගානේ
ඉබි ගමනින් තමයි දැන් බස් රථ යන්නේ

ප්‍රශ්නෙට කොපමණක් විසඳුම් දුන්නාට
කොතරම් ගුවන් පාලම් තව     හැදුවාට
වාහන වලට බදු වැඩිකර        ගැසුවාට
මේ තදබදය පවතියි දිවි            පුරාවට

Monday, March 27, 2017

සින්නක්කර හදවත



ඇගේ කෙහෙරැලි අතර දිවයන ඇඟිලි අතරෙහි ඇස්   ඔබා
නෙත් අඟින් හෙලනා බැලුම් දැක දියව යයි ගල් හිත්   පවා
මොහොතකට කාලයද නැවතුණි මගේ හද ගින්නෙන් දවා
ලියා දෙන්නට සිතුණි හදවත ඔබට සින්නක්කර         තබා

Wednesday, March 22, 2017

නිශ්ශබ්දතාවය - ජී.බී. සේනානායක


දෑත බිම ඔබා
පස්සට වාරු වී
නිසලව හුන්
ඇගේ ලිහිල් 
කෙස් රොදක්
නිහඬව හමන
සුළඟින්
එසවී.......

මා මුහුනෙහි 
හැපෙත්ම
ඇගෙ රන්වන්
මුහුණ දෙස
බැලූ මම
ඇසීමට දිගුකලක්
පුල පුලා සිටි
කිසිවක් ඇසීමට
සිතීමි.....

මසකු හඬනගා දැඟලූයෙන්
ගං ඉවුර දෙස
පන් ගසින් යුත්
නොගැඹුරු බොර දිය
කැළඹිණි...
ඈත ඉවුරෙහි
උසට වැඩුනු
මහ උණ පඳුරින්
අහසට නැගුනු
කොබෙයියෙක්
කෑ ගසාගෙන
පියඹා ගියේය.....

ඉක්බිතිව
මහා නිශ්ශබ්දතාවයක් පැතිරිණ......

ඇගේ රන්වන් දිගටි මුහුණ දෙස
බැලූ මම
ඇසීමට දිගු කලක් පුල පුලා සිටි
කිසිවක් ඇසීමට
යළිත් සිතීමි.....

නිශ්ශබ්ද්තාවය දැඩි විය 
පෙදෙස වසා ගෙන පැතිරුනු 
නිහඩ බවින් මිරිකුණු මම 
ඇයගේ 
රන්වන් 
දිගටි 
නිසල 
මුහුණ දෙස බලා 
කරබා ගතිමි. 

ජී.බී. සේනානායක

Monday, March 20, 2017

මතකයාය





සමනළ මාවතේ ඇවිද ගියෙමු අපි
නිමක් නොවෙන කතා කලෙමු අපි
මතකය පමණක් ඉතිරිව ඇති
සමනල් විය පසු කර ඇති අපි


ඈත හිම කදු අතර හිරවී
අපේ ආදර බස් දොඩාවී
හිම පියල්ලක වැතිර පාවී
ඔබේ මුව මත පිණි ඉසේවී


ඔබේ සුසුමක රැදී සිරවී
මල් පියල්ලක පාවී ඇවිත්
කොයි තරම් මට ආදරේ
කළා දෝ ඔබ රහසින් කියාවී


මග බලා හිඳිමු අපි යළිත්
සොඳුරු සමනළ් විය
එනතුරා දහසක් පැතුම් මල්
පුබුදවා සිත් මල් යාය පුරා

Saturday, February 4, 2017

නිදහස් උදානය - සුගුණපාල සමරසේකර




මගෙ සිරි ලංකා භූමි               තලේ
අද ජයමංගල කෝළ              හලේ
පහ කළ පරගැති රාජ             බලේ
නමෝ නමෝ මාතා           බැබලේ

සිරිලක් අඹරෙහි නැඟ නැඟ       දිව්
නිදහස් කාහළ මංගල                රැව්
පිදුරුතලාගල සමණොළ           පව්
මිහිදුම පැහැ ගෙන සිඹිනු        බලව්

විදෙසික පීඩන ගිම්              උනවා
නිදහස් මඳනල රැළි            දෙනවා
ලක්මව රන්කොඩි ලෙළ      වනවා
මෙන් සිරිමා බෝ දලු           ලනවා

යුධ වැද රැකුමට හෙළ              භූමි
එය සිඹගෙන මළ ලෙස           දෑමී
කැප්පෙටිපොළ හිස රණ        කාමී
නිදහස දැක වනි මවු                භූමී

පෙබරවරිය සිවුවැනි              දවසේ
මගෙ මළ මවු ඉපදුණු            දවසේ
නව හිරු නව සඳ නුබ           දිලිසේ
හෙළ දද රඟ ගති උඩ            අහසේ

පෙණකැටි මුතුපට ඉහළට      නංගා
රළ පෙළ තරඟෙට වෙරළට නැංගා
පළකොට නිදහස සතුටු        තරංගා
හෙමිහිට බැසයෙති ගිං කළු    ගංඟා

හැම ළය පතුළක ජාතික        ජීවේ
නළියවමින් සිහිලළ නල       ආවේ
පන්සල, පල්ලිය, ඝණ්ඨා      රාවේ
නිං නඟමින් උඩුගුවනෙහි     ගෑවේ

නිදහස පිළිබඳ දිමුතු       ජයන්තිය
සළකන ඔබ අද හරි පින්   වන්තිය
කිය කිය දිවගෙන සිඳුරළ  පන්තිය
සිඹගති සිරිලක් ආදර        වන්තිය

සුගුණපාල සමරසේකර

Friday, February 3, 2017

ගුණසේකර වත්ත





















සුවිසල් මාර ගස හන්දිය                            මැද්දේය
පොඩි සුළඟටත් එය නිතරම                      පැද්දේය
එහෙ  මෙහෙ යනෙන මාවත් ගම්               බැද්දේය
ගුණසේකර වත්ත ලෙස නම්                    ලද්දේෙය

මුළු වත්තටම තිබුණෙ කඩවල්                      තුනකි
සැලුන් එක සමඟ සිල්ලර කඩ                     දෙකකි
බැලු බැලු හැම තැනම ලී පැල්පත්               පෙළකි
වත්තේ ඒ කොනයි මේ කොන පොඩි             දුරකි

ඇන්ටනා ලයිට් කණු හැමතැන                     තිබුණි
වයර්  හැම තැනම කෙස් රොද වන්                යකිනි
දහවල උදෑසන රැයවල් ගත                       කෙරුණි
මේ පොඩි වත්ත සුර පුරයක් ලෙස                 දිලුණි

බිත්ති තනා තිබුණේ වල් ලෑලි                       වලින්
වහලය නිමවුණේ ටකරං යකඩ                    මලින්
සුළඟට ගසා නොයනට බර ටයර                  තුළින්
වැස්සට වතුර බේරී එයි වහලෙ                     හිලින්

අමුතු අමුතු රස්සා කළ මිනිසුන් වෙති ගම      පුරාම
සොර සතුරන් හිඟන්නන්ද කැම්පස් යන  සුමිතුරාම
මැරයන් සහ ගණිකාවන් දිගටම වැඩ නෑ       විරාම
එහිම ඉපිද එහිම මැරේ නම ඉතිරිව යයි          දිරාම

සවසට සියල්ලන් එක්වෙති පාර                 තොටේ
කොල්ල්න කුරුට්ටන් සෙල්ලම් කරති           වටේ
පොඩි පොඩි රණ්ඩු ඇති වූවද වටේ                පිටේ
ගුණසේකර වත්ත දැන් පරසිදුය                     රටේ

මත්පැන් අවන්හල් කිසිවක් නැත               වත්තේ
එනමුත්  හෙරෝයින් කුඩු ගංජද                 ඇත්තේ
පොලිස්  මැති ඇමතිසවසට ගම                පැත්තේ
එනිසා කිසිවෙකුත් කා හට බිය                නැත්තේ

රෑ බෝ වන විටදී ගම අඳුරෙන්                  ගිලුණේ
සුන්දර ගම ගැහැණු එළිමහනට                 වැදුණේ
කිමිදෙන්නට ගියොත් හෙම බිහිසුණු     පොකුණේ
මටවත් නොතේරී මම මා හට                   විකිණේ

සැන්දෑ හිරුගේ ගිනියම් රත් පැහැය               දිගේ
කපුටගේ නදින් මිහිරක් එක් කරන               අගේ
සිහිලස ලැබෙයි වැටුණත් කුණු ගලන         ගඟේ
මතකෙන් නොයයි වත්තම එයි සිතට          මගේ


Thursday, February 2, 2017

උතුරෙන් - සාගර පළන්සූරිය



















දකුණේ මෙන්ම උතුරෙත් හිරු නඟියි       උදේ
රන්තරු රිදී තරු සවසට පෙළට               ඇදේ
හඳ ඇති දාට රසබර රැස් දහර                   හඳේ
පොල් ගස් මුදුනෙ මෙන් තල් ගස් මුදුනෙ වැදේ

ගෙන එයි මිහිර ගී මදනල  හමන                විට
වැටහෙයි නොවැටහුණු සැඟවුණු කරුණු    මට
නිල් පැහැයක් නැතත් මේ වැලි පොළව      පිට
උදයට පෙනේ බොල් පිනිබිඳු පබළු           ඇට

තනි බව දැනේ එහි කවුතුක රසය              ඇත
මා පිට ගෙයක බව සලකනු පුරුදු             නැත
හැම මොහොතක ම ඇති උණුසුම් ගතිය     මත
උගතිමි කිම ද මිනිසා සතු දෙනෙත          තෙත

දහදිය හෙළන අය හිරිහැර අතර                වැටී
දකුණේ මෙන්ම උතුරෙත් හැම තැනම       සිටී
විමසා බලමි ඔවුනගෙ හදවතෙහි               හැටී
කළුගල් යකඩ නොව උණු වී හැළෙන        ඉටී

බැඳ ඇති විළංගුව පා මිණිසළඹ              කොට
සලකා වැටෙන එය බැන්දහු ඉදිරි                පිට
මිනිසුන් දකුණෙ මෙන් උතුරෙත් පෙනෙන විට
සිහියෙන් තුරන් වෙයි හෙට යන දවස         මට

මිනිසා වෙතින් මිනිසා වෙන් කරන         රිසින්
බැඳ ඇති පවුරු පදනම් කිසි කෙනෙකු    විසින්
ඒවා කඩා බිඳගෙන එහි පිරුණු               පසින්
පාළම බැඳෙනු ඇත දවසක උතුරු         දෙසින්

පැයකදි එකට හමු වන දුර ඇත                දෙතැන
මෙය වෙන් කරනු හැකි කිසිවෙකු වෙ ද කොතැන
සුරුට්ටුවට එක් වී උතුරේ                            ඔතන
බේදය පිළිස්සී හමු වේවා                          දකුණ !

සාගර පළන්සූරිය

Tuesday, January 31, 2017

ටාසන් මළා - විමලරත්න කුමාරගම



සිව් වසරකට  පෙර විත් මගෙ ඇසුර       බලා
මේ  වනතුරුම මගෙ තනිකම බැහැර     කළා
අද අළුයම ම උණුසුම් වෙන විටදි           වළා
පිංචිත් මාත් මරමින් ටාසන්ද                  මළා

හඟුරන්කෙතේ  පෙරහැර පැවතුණු        දාක
මා උඹ ගෙනාවේ මහ කළුවර                රෑක
මා පමණක් ම දුටු ඉඩකඩ ඇති            ගේක
උඹ මා සෙවූ සැටි මට වැටහෙන          දේක

රෑ සුළඟිල්ල උරමින් නිදි වැදුණු           ඇඳේ
මගෙ කට, නහය ලෙවකෑවෙහි නැගිට  උදේ
උඹ ගැන මතක නො නැවත හදවතට  ඇදේ
මගෙ හිස ඇසද පපුවද එක විලස          රිදේ

පිටිසර ලියන් දිය සැනහෙන තැනට     පැන
දිව ආවෙහිය තනපට හෝ හවරි         ගෙන
උන් උඹ අඹා ආවිට හුරතලට              බැන
උඹ දත්තහෙිය මා නැවතී සිටිය           තැන

දිව දිව පෙරළි පෙරළී උඩ පැනපු         හැටි
ගස් දිග යන්ට ඉගිලෙන්නට හැදුව       හැටි
පූසි සමඟ උඹ සෙල්ලම් කරපු             හැටි
මා උඹ මෙන්ම මියයෙන තුරු මතක    හිටී

දරු සයදෙනෙකුගේ පියෙකුව මළද      උඹ
මම ‘‘නිදරුවී“ වැඩුවෙමි උඹ නිතර      සිඹ
මීයන් අඹා දොළ බජ ගල් තුළට           පිඹ
උඹ යළි එතිද පීරා මඩ වතුර             ගොබ

සන් දෙන වෙණක් සේ සිහිපස හඳ     පානේ
දුන් නෙහි  උඹත් මට හුදු සෙනෙහස   දානේ
දැන් මට දැනෙන්නේ හැබැහින් හෝ   සීනේ
රන් කිරියා මල් සුවඳයි උඹෙ              මූනේ

මියගිය පසුව උඹ ඉවකර යුතුව             සෙනේ
පිංචි කිමද මා ළඟටම තුරුළු                   වුණේ
ඇය හට දැනුදු තනිවූ බව හොඳට            දැනේ
මට අද උඹෙන් මුළු ලොව එක තැනක පෙනේ

මහ කළුවරක් බිහිවිය හැක උදා             සනින්
මළ බෙර හඬක් සැනසුමකට යොදා       ගනින්
ටාසන් මළා මගෙ පාළඟ නිදා               ගනින්
මා මෙන් උඹත් පිංචි හිත හදා                ගනින්


දේදුන්න - 1951-  විමලරත්න කුමාරගම

Friday, January 27, 2017

තවුසාට වූ හදිය - පී.බී.අල්විස් පෙරේරා















දැහැනින් නැගුණු තවුසා දැක කුටිය       ළඟ 
මගියෝ කියෙහි යුතු වෙසෙසින් යුතුව    දිග 
සාමිනි අපට යා යුතු තව බොහොම        මඟ 
දෙනු මැන රැයක් ඉන්නට පන්සලෙහි   ලැග

අතහැර මිනිස් වාසය නිදහස              පැතුව 
මම මෙහි සිටින්නෙමි සිත සොම්නස   යුතුව 
මට ඉඳ පුරුද්දක් නැහැ කරදර            ඇතුව 
දෙන්නේ නවාතැන් කොහොමද ඉඩ  නැතුව 

ගොළුවන් වගේ කරබා මුල්ලකට      වෙලා 
ඉන්නට හැකිය සුසුමක්වත් වැඩිය    නොලා 
අපි මොන තරම් සංවර වෙන්නෙමුද     බලා 
ඉඩ දෙනු මැනවි කී විට ඒ නඩෙහි        මුලා 

තවුසා කුටිය එක මුල්ලක ඉඩ        දුන්නේ 
පිම්බා ලෙසින් මීයට නිහඩව         උන්නේ 
පැයකට පමණ පසු කවුරුත්  කොදුරන්නේ 
ඇතමුන් තව්සගේ ඵලවැල ටික     කන්නේ 

බණ බාවනාවට කරදර ඇතිඳු             ඉතා 
තවුසා සිටියි මුල්ලක එරමිණිය       ගොතා 
මගියෝ ලැබුණු නිදහස තව දුරට        පතා 
තුන් මුල්ල්ක්ම අත් කරගෙන කරති   කතා 

මගියෝ සිටිති දැන් කුටියෙහි සියළු   තැන 
කතිකා කරති වියහියදම් ගමන්          ගැන 
මුව සම පවා තව්සා සතු පැහැර        ගෙන 
ඔහු රෑ තැවෙන හැට් කුටියෙන් පිටට  පැන 

තවුසගෙ තව්ස් පිරිකර ටිකවත්    නැත්තේ 
කෙණ්ඩිය පත්කඩය මිදුලේ එළි    පත්තේ 
අදුරේ මහා කලබල ගතියක්         ඇත්තේ 
ඒ මදිවාට කවුදෝ ගුටි කෙළ        ගත්තේ

මැසි මදුරුවන්ගේ විස දළ තුඩු         පාවා 
තවුසා සීතලේ රෑ සට සට                ගෑවා 
මගියෝ ගියහ තවුසා කුටියට           ආවා 
තිබුණා මිනී තුන හතරක් එහි           බාවා 

පී.බී. අල්විස් පෙරේරා



Wednesday, January 25, 2017

වැස්ස - එච්.එම්.කුඩලිගම


















ගැබිනියකගේ තනපුඩුවල පැහැය         උරා
පාවෙන වළාකුළු පවතියි, අහස            පුරා
මිටියාවතේ මීදුමු ගොබ දෙපළු             ඉරා
ඉගිලෙති කුරුළු හමුදාවෝ කැදලි         කරා

අහසේ වලාකුළු හා තරගයෙක              යෙදී
තොටියා ඔරුව ආපසු තොටුපලට           පදී
දියවල බිදී දෙන රාවය දෙකට             බෙදී
හබලේ ගැඹුරු හඩ සමග ම ගොඩට       වදී

පදමට වෙරළු මිණිකැට සුනු විසුළ        හැඩ 
ජෝතිය ලැගුම් ගත් ළා තණපිටිය          උඩ
නැහැ පුඩු මහත් කොට මී ගොන් මුළුව නැඩ
කිමිදෙති නැවුම් පුස්බෙහි වෙල් කුඹුරු    බඩ

ඇළ දොළ ගලා බස්වන්නට ඉවුරු         කඩා
ගොඩබිම නිවා සනහන්නට සියලු          විඩා
ගන වැහි වළා ඉගිළි එන විට දී              අඩා
මට මහා සොම්නසක් ඇත මොනරෙකුට වඩා

වැසි බිඳු ඇද වැටී කුර ගැටෙන හඬ          දිදී
මිදුලේ රළ බැඳෙයි පෙන බුබුළු බිඳී         බිඳී
සුළගින් ගසා ගෙන එන මිහිරි බව           රැදී
සිතුවිලිවලට මුළු හදවත ම ඉඩ               මදි

වෙහෙසට පත්ව වට වැහි බිඳු පොකුරු    ගිල
දිය වල වමාරන්නා මෙනි, පියසි             තල
මිදුලේ පුංචි ගංගාවල් ගලන                  කල
පාසල් ළමුන් පාවෙති සිය සිහින             වල

නැති වළ ගොඩැලි මතුකොට ගල් කැට බේරා
පටු මාවතේ දුහුවිලි, කොළ රොඩු           සූරා
දෙපසෙහි සැදි අගල් සුළි නැගී නැගී       හාරා
පිඹුරන් සේ ඇදෙයි ගුරු පැහැ දිය           දාරා

ගස් වැල් තිගැස්සෙයි මේ කුළු ගැටෙන හඬින් 
කඳු ගැට වසා විහිදෙයි වැහි ගිලිය     ගොඩින්
නිකෙළෙස් හැගීමක් ඩැහැගත් වන ම  ගොඩින්
හදවත පියඹා යයි, වෙල් කුඹුරු           උඩින්

උපදින අළුත් කලබලයෙන් පපුව              යට
ලොව පෙම්වතුන් පෙම්වතියන් උමතු    කොට
වැටකේ අරලියා බඩවැටි අතර                 සිට
මුර ගා ගෙන ඇදෙයි හිරිකඩ සුළඟ         ගෙට

පොළොවට වැටෙන හැම වැහි බිඳුවක ම පහේ
ගැබ්වුණ සිසිල එයි, ඊතල පරිදි            මෙහේ
ළා අතු රිකිලි, රුක්ගොමු, ලියමඩුලු        ඉහේ
දැඩි වේදනාවෙන් මිරිකී හඬනු              ඇහේ

හැම වැහි වලාව ම ඉගිලීගෙන               එද්දී
මට එයි ජීවමය ගී රසයක්                    ඇද්දී
මුළු ජීවිතය සතු සිහිකටයුතු                  සිද්දී
සිදු වුන සේ හැඟෙයි මහා වැසි          පවතිද්දී

සුළගට විදුලියට ගිගිරුම් හැඩ               ගගා
ගැඹුරු ම නිසල බව පිටුතලය කොට     නඟා
රැය සීතලත් අඳුරත් සමග කුර               ගගා
සැන්දෑවට කලින් මේ ගමට විය            ළගා

ගී දේවියට කැප කල දෙවොලකට         සම
කුටියක සුවඳ දෙයි කළුවැල් කපුරු         දුම
අද නම් නුවර එලියකි මා වෙසෙන         ගම
මෙ පමණ අලස දවසක් නොදුටුවෙමි      මම



එච්.එම්.කුඩලිගම

1918 දී කළුතර කුඩලිගම නම් පිටිසර ගමේ දී එච්. එම් කුඩලිගම මහතා උපත ලැබීය. මොහු කොළඹ යුගයේ කවියෙකි. ගමේ පාසලෙන් මූලික අධ්‍යාපන ලැබූ කුඩලිගම මහතා පසුව රජවත්තේ වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රයෙහි නිරතව සිටියේය. සොළොස් හැවිරිදි වියේදීම පද්‍ය රචනාවට බට කුඩලිගම මහතා එතැන්සිට විවිධ පුවත් පත් හා සඟරා වලට රචනා සැපයීය.

ඔහුගේ නිර්මාණ අතර "ඈ", "කුණාටුව", "සිරිමලී" යන කාව්‍ය නිර්මාණ තුන වේ. ඉන් වඩාත්ම ජනප්‍රිය වූයේ "ඈ" නැමති කෘතියයි. කළුගඟ, මුහුද වැනි ස්වභාව සෞන්දර්යාත්මක වස්තු ඔහුගේ නිර්මාණවලට පාදක වී ඇත. කිසියම් සිද්ධියක් ඉතා ශූර ලෙස ගොඩ නගමින්වුත් අවසානයේ ඉතා වක්‍රාකාරයෙන් හෙළි කොට සහෘදයා තුළ දැඩි කම්පනයක් ඇති කොට අපූරු වින්දනයක් ජනිත කිරීමෙහි ලා කුඩලිගම සමත්ය.  කපිල සෙනෙවිරත්න මහතා සමඟ එක්ව "සුවඳ" නැමති කවි සඟරාව අරඹා පවත්වාගෙන ගියේය. කපිල සෙනෙවිරත්න මහතාගේ අභාවයෙන් පසුවද එය කුඩලිගම මහතා විසින් පවත්වාගෙන ගියේය. මෙතුමා කලක් ලේක්හවුස් ආයතනයේ සේවයෙහිද යෙදී සිටියේය.1983 ගොතටුවේදී කුඩලිගම මහතා අභාවප්‍රාප්ත විය.